Tuesday, September 1, 2015

ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP



      පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා  පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board),  අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.



පරිගණකය හා මිනිසා අතර අන්තර් සම්බන්ධය භෞතික මානයෙන් ඔබ්බට රැගෙන යන මෙය LEAP ලෙස නම් කර තිබේ. තවමත් ආරම්භක අවස්ථාවේ පවතින LEAP Motion නම් ඇමෙරිකානු සමාගමක් විසින් මේ නව තාක්ෂණය ඉදිරිපත් කර තිබේ. මෙහිදී භාවිතා වන උපාංගය LEAP ලෙසින් හඳුන්වන, අඟල් 3 ක් පමණ දිගැති, චලනයට සංවේදී උපකරණයකි. මෙය USB කේබලයක මගින් පරිගණකය හා සම්බන්ධ වේ. මෙම LEAP උපාංගයේ ඇති විශේෂීතාවය වනුයේ පරිගණකය හා ගනුදෙනු කිරීමට මෙම උපාංගය ස්පර්ශ කිරීම හෝ යම් නිශ්චිත ස්ථානයක් වෙත යොමු කිරීම අනවශ්‍ය වීමයි. පරිගණකය හැසිරවීමට ඔබ කළ යුත්තේ ඔබේ දෑත්, ඇඟිලි සෙලවීම පමණි.


ඔබ Minority Report සිනමා පටය නරඹා ඇත්නම් ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අති විශාල පරිගණක තිර ඉදිරියේ දෑතින් යම් යම් විධාන දෙමින් පරිගණක පද්ධතිය හසුරුවනු දකින්නට ඇත. LEAP හි ආවරණ ප්‍රදේශය Minority Report තරම් විශාල නොවූවත් ක්‍රියාකාරීත්වය එයට සමාන වේ. මෙහි චලන සංවේදී උපාංග ලෙස Infrared LED කීපයක් සහ මෙගා පික්සල 1.3 ක (1.3 MP) කැමරා සංවේදකයක් අඩංගු කර තිබේ. මෙමගින් ඝන අඩි 8 ක ප්‍රදේශයක් පුරා (සාමාන්‍ය ශීතකරණයක් තරම්) ත්‍රිමාන අවකාශයක සිදුවන චලනයන් ග්‍රහණය කරගනී. පරිශීලකයාගේ දෑත් සහ ඇඟිලි හසුරුවන රටාවන්ට අනුකූල සුවිශේෂී ඇල්ගොරිදම රටාවන් රැසක් හඳුනාගැනීමට LEAP මෘදුකාංගයට හැකියාව ඇත. සරලව පැවසුවහොත්, LEAP උපාංගය ඉදිරියේ හිස් අවකාශය මත, පෑනක් මගින් ඔබේ අත්සන "ලිවීමෙන්" ඉතා නිවැරදිව ඔබේ ඩිජිටල් අත්සන තිරය මතට ලබා දීමට මෙයට හැකිය. පරිශීලකයාගේ දෑතේ ත්‍රිමාන අවකාශී සිතියමක් මැවීමට එයට හැකිවන අතර දැන් මෙම දත්ත ආධාරයෙන් චලනයන් හඳුනා ගැනීමට එය සමත්වේ.


චලන සංවේදී උපාංග ලෙස මෑත කාලයේ තරමකට හෝ මතුවී ආවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ කයිනෙක්ට් (Kinect) උපාංගයයි. කෙසේ වුවත් එය ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩි පරාසයක මෙහෙයුම් ප්‍රමාණයක් හැසිරවීමට එයට නොහැකි විය. තවමත් පරිගණකයක් පාලනයට තරම් දියුණුවක් එය ලබා නොමැති අතර XBox පද්ධති හා වෙනත් පරිගණක ක්‍රීඩාවන් හැසිරවීම සඳහා එය බහුලව භාවිතා කෙරේ. LEAP  හි චලන සංවේදීතාවය Kinect මෙන් 200 ගුණයක් ඉහළ අතර මිලිමීටරයකින් සියයෙන් එකක් දක්වා වූ අති සියුම් චලනයන් පවා එයට හසුකරගත හැකියි. කයිනෙක්ට් මෙන් නොව LEAP උපාංගය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තරම් කුඩා නිසා පහසුවෙන් හැසිරවිය හැකියි. තවමත් මුල් අදියරේ පවතින තාක්ෂණයක් වුවත් LEAP හි ඇති අතිසියුම් නිවරද්‍යභාවය විස්මය දනවන සුළුයි. LEAP හි අනාගත සංස්කරණ වලදී මෙහි සංවේදී උපාංග තවත් කුඩා කර ස්මාට් දුරකථන, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක පද්ධති තුලම LEAP පද්ධතිය ඇතුලත් වන ආකාරයෙන් තැනීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.


මෙම නව පද්ධතිය මිනිසා හා පරිගණකය අතර පැවති භෞතික සීමාවන් බිඳ දමමින් වඩාත් නිදහස් හා ස්වාභාවික ආකාරයෙන් පරිගණකය හා සම්බන්ධ වීමේ නව මානයක් උදාකරන බව LEAP  Motion සමාගමේ නිර්මාතෘ ඩේවිඩ් හෝල්ස් පවසා සිටී. "එය මවුසයකට වඩා නිවරද්‍යතාවයකින් යුක්තයි, යතුරු පුවරුවකත් වඩා විශ්වාස දායකයි, ස්පර්ශ-සංවේදී තිරයකටත් වඩා සංවේදීතාවයෙන් යුතුයි... වඩාත් වැදගත් කරුණ වන්නේ ඉහළ - පහළ, වම - දකුණ, ඉදිරිය - පසුපස යන ඕනෑම දිශාවකට, ත්‍රිමාන අවකාශය තුල ඔබට නිදහසේ වැඩ කළ හැකි වීමයි..."



LEAP උපාංගයෙන් ඔබේ පරිගණකය හැසිරවීම ඉතා පහසුයි. USB සබඳතාවය හරහා LEAP උපාංගය පරිගණකයට සම්බන්ධ කර  Leap Motion මෘදුකාංගය ධාවනය කළ පසු LEAP උපාංගය මත ඔබේ අත එක්වරක් වැනීම මගින් එය සක්‍රීය වේ. වෙනත් කිසිදු පුහුණු කිරීමක් හෝ ඉගෙනීමක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ සිතට එන ඕනෑම විධානයක් ඔබට හුරු පුරුදු හස්ත සංඥාවක් මගින් දැන් ක්‍රියාත්මක කරවිය හැකියි. එපමණක් නොව, ඔබට ඔබේ දෑතේ ඇඟිලි වලට අමතරව පෑනක් හෝ පැන්සලක් වැනි දෙයක් පවා භාවිතා කළ හැකියි. LEAP හි අධි-සංවේදීතාව හා නිවැරදි බවත්, LEAP මෘදුකාංග 'මොළයේ' බුද්ධිමත් භාවයත් නිසා විද්‍යා ප්‍රබන්ධ ගණයේ අත්දැකීමක් ඔබේ දෑස් ඉදිරිපිට මැවීමට LEAP උපාංගයට හැකියාව ලැබී තිබේ. ඔබට අවශ්‍ය ආකාරයේ විධානයන් LEAP මෘදුකාංගය වෙත program කිරීමටද හැකියාව ලබාදී ඇත. මෙමගින් ඔබටම ආවේනික වූ චලන විධානයක් පහසුවෙන් භාවිතා කළ හැකියි. LEAP උපාංගයක් කීපයක් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් ඔබේ සංවේදී ප්‍රදේශය වැඩි කරගන්නටත් පුළුවන්.

LEAP Morion සමාගම විසින් මේ වන විටත් LEAP උපාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයන් ලොව පුරා වෙසෙන මෘදුකාංග සංවර්ධකයින් හට ලබාදී තිබේ. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ LEAP උපාංගයේ විවිධ භාවිතාවයන් ඉස්මතු කරගැනීමටයි. මෙහිදී LEAP උපාංගය භාවිතයෙන් සිදුකළ හැකි විවිධ වැඩකටයුතු රාශියක් පිළිබඳ අදහස් මතුවී තිබේ. ත්‍රිමාන නිර්මාණ කරුවන්හට මවුසයෙන් වැඩ කරනවාට වඩා දස ගුණයක වේගයෙන් ත්‍රිමාන ආකෘති (3D Modeling)  නිර්මාණය කරගත හැකියි. වින්ඩෝස් 7 / 8 පද්ධති හා Mac OS පාදක පරිගණක පද්ධති හැසිරවීම සඳහා වෙනත් කිසිදු වෙහෙසකින් තොරව LEAP යොදා ගැනීමට පුළුවන. පෙර සඳහන් කළ ආකාරයට ඩිජිටල් අයදුම්පතක් සඳහා ඔබේ අත්සන යෙදීමට ඔබ කළ යුත්තේ අවකාශය තුළ පෑනෙන් අත්සන් කිරීම පමණි. එසේම කිසිදු සැකයකින් තොරව පරිගණක ක්‍රීඩා ලෝලීන්ට තමන්ට රිසි අයුරින් ක්‍රීඩා කිරීමේ පහසුකම LEAP මගින් ලැබෙනු ඇත.


LEAP උපාංගය නිර්මාණය කිරීමේ අදහස එහි නිර්මාණකරුවන් වන ඩේවිඩ් හෝල්ස් සහ මයිකල් බක්වඩ් හට පැමිණ ඇත්තේ ත්‍රිමාන මොඩලයන් නිර්මාණය කිරීම සඳහා පරිගණකය භාවිතා කිරීමේදී යතුරු පුවරුවත්, මවුසයත් භාවිතයෙන් එය කිරීමට ඇති අපහසුතාවය තේරුම් යෑම නිසායි. පරිගණක තිරය මත අතත්‍ය (virtual) මැටි ගොඩක් ඇතැයි සැලකුව හොත්, අප සාමාන්‍ය ලෝකයේ එම මැටි පිඬ හැඩගස්වා අපට අවශ්‍ය රූපය නිර්මාණය කරන ලෙසටම පරිගණක තිරය තුල ඇති මැටි පිඬ ද හැඩගැස්වීමට හැකි විය යුතු යැයි ඔවුන් කල්පනා කලහ. මෙසේ ස්වභාවික හස්ත චලනයන් භාවිතයෙන් ත්‍රිමාණ රූ මැවීම සඳහා නිපදවුනු චලන තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් LEAP උපාංගය නිර්මාණය කර තිබේ.

LEAP හි අනාගතය සිතාගත නොහැකි තරම් චමත්කාරජනක වනු ඇත. අනාගත LEAP උපාංගයන් වඩාත් කුඩා වනු ඇති අතරම, වඩාත් පුළුල් පරාසයක ක්‍රියාත්මක වනු ඇත. එවිට කාමරය මැද ක්‍රිකට් පිත්ත වනමින් පරිගණකයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ද, හිස් අවකාශයේ පැන්සල මෙහෙයවමින් චිත්‍ර අඳින කලාකරුවන් ද, හස්ත සංඥා මගින් පරිගණකයෙන් චැට් කරන ආබාධිතයන් ද අමුතු දසුනක් නොවනු ඇත.

LEAP උපාංගය ඩොලර් 70 කට මිළ කර ඇති අතර, 2013 වසරේ මුල් භාගයේදී මෙය වෙළඳපොලට නිකුත් කිරීමට LEAP Motion සමාගම බලාපොරොත්තු වේ.

                             

මෙම වීඩියෝව නැරඹීමෙන් LEAP හි ක්‍රියාකාරීත්වය වඩාත් හො‍ඳින් 
වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත...


Read more: http://chathucn.blogspot.com/2012/11/leap.html#ixzz3kTVjCFEU 

ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2


Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.


ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්, තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watchඋපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.


සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික වූ අතර, ජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.

Smart Watch 2 හි නිමාව පිළිබඳව සැලකීමේදී එහි බඳ තනිකරම ඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේ. එමගින් මෙයට උසස් පෙනුමක් ලබාදී ඇත. විශේෂයක් වන්නේ මෙහි අත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයි. මෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබට කැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 සඳහා භාවිතා කළ හැකියි. තරමක් විශාලව පෙනෙන, රවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේ. එහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ් කිරීම සඳහා සපයා ඇති සම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇත. මීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සඳහා භාවිතා වූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමාන යේ සම්මත port එකක් වීම පරිශීලකයාට වඩාත් පහසුවකි.


තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.

භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මඳක් විශාල වන අතර, බරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.

Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම ‍download වනු ඇත. ඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.

Smart Watch 2 සඳහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා  මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.


දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2  උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...


Read more: http://chathucn.blogspot.com/2013/08/sony-smart-watch-2.html#ixzz3kT5h0Lu0